United Nations Welcome to the United Nations. It's your world.
  • العربية
  • 简体中文
  • English
  • Français
  • Русский
  • Español

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පවත්වනු ලබන කථාව

Wednesday, 24 September 2025
Presenter: 
His Excellency Anura Kumara Disanayaka
Location: 
United Nations General Assembly, New York

 

 

 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පවත්වනු ලබන කථාව

2025 සැප්තැම්බර් 24 වැනිදා

 

කාලය: මිනිත්තු 15   

තේමාව : එක්ව වඩා යහපත්ව: සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් වෙනුවෙන් වසර 80ක් සහ ඉන් ඉදිරියට

 

සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයිනි, සම්භාවනීය නියෝජිතයිනි,

ලෝකයේ ජාතීන් අතර සාධාරණ හා කල් පවතින සාමයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන බිහිකළ මේ සුවිශේෂී සංවිධානයේ 80 වැනි සැසිවාරයේ සභාපතිනිය ලෙස තේරී පත් වූ යුරෝපයේ හදවතෙහි පිහිටි අපූර්ව  ජර්මනියේ අතිගරු අන්නලේනා බෙයර්බොක් මැතිනියට මා උණුසුම් ශුභාශිංසන  පිරිනමනවා. ඒ වගේම, ලෝකය මවිතයට පත් කරන භූගෝලීය හා සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ෆිලෙමොං යැං හිටපු සභාපතිතුමා ලබා දුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.  

සාමයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශ්වික ගමන්මඟ සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමු වරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වනවා.

ඔබ අප සැමදෙනාම, මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි, ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාවේ මෙන්ම, අනෙක් සෑම රටකමත් ජනතාව අපවෙත පවරාදුන් ඓතිහාසික වගකීමක් ඔබ අප සියලු දෙනාගේම උරහිස්මත පැවරී තිබෙනවා.

අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතැන හෝ ජීවත්වන සෑම දෙනාට බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරනවා.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණ දෙන අතිශයින්ම බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ මහා ව්‍යසනය හේතුකොටගෙන නිර්මාණය වූ තවත් බරපතල ගැටලු කිහිපයක් අප ඉදිරියේ අන්ධකාර පීඩාවක් නිර්මාණය කොට තිබෙනවා.  

ඒ පිළිබඳව මේ සුවිශේෂී සමුළුවේ අවධානය යොමු කිරීම කළයුතුම බවට මගේ හෟදසාක්ෂිය හඩනගා කියනවා.බොහෝ විට මේ සියල්ල ඔබේ හෘදසාක්ෂියටත් අඩුවැඩි වශයෙන් බලපෑම් කරනවා ඇතැයි මා සිතනවා.

සම්භාවනීය නියෝජිතයිනි,

ලෝකයේ අතිබහුතරයක් රටවල් සියවස් ගානක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර  අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්නට පුලුවන්කම තිබෙනවා. එය, විවිධ මුහුණවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර, අප මේ සමුළුවේ රැස්ව සිටින මොහොතේත් මාද ඇතුලුව මේ සෑම නියෝජිතයෙකුගේම රටවල අඩුවැඩි වශයෙන් සැලකියයුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා.

සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. නමුත් නැතිබැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛාත දරුවන් ලෝකය පුරා සිටිනවා. තාක්ෂණයෙන් පිරිපුන් යැයි පුරසාරම් කියන ලෝකයක පාසැල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවාසනාවන්ත ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනගන අත්තිවාරම වෙනවා.අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලොකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සලකනවා.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත්කමමුහුණ දීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමාන්‍යයෙන්, අඩු ආදායම්ලාභී රටවල්  සෞඛ්‍ය හෝ අධ්‍යාපන සේවා සඳහා ගෙවීමට වඩා  දෙගුණයකටත් වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම් සඳහා වෙන් කරනවා. පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත්  ණය උගුල්වල සිරවී සිටිනවා. මේ තත්ත්වයට සාධනීය විසදුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය කිසිවෙකු අතහැර නොයන බවටත්, පළමුවෙන් පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දුවී තිබෙනවා. අද ලෝකය මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරීමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය හඳුනාගෙන තිබෙනවා.

1995 දී  කෝපන්හේගන්හි පැවති සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේදී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමු කරනවා. නමුත්, අනපේක්ෂිත යුද්ධ,දේශපාලන ව්‍යාකූලත්වයන්, වගේම ලෝකයම කුණාටුවකට හසුකළ කොවිඩ් වසංගතය නිසා, අභිලාශකාමී න්‍යාය පත්‍රයන් ව්‍යාකූලකොට තිබෙනවා.

ඒ නිසා ඇති නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළයුතු වෙනවා.

 

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,

මේ අසිරිමත් ග්‍රහලෝකය අස්ථාවරත්වයටත්, ව්‍යාකූලත්වයටත් පත් වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒ සමග බැඳුණු සංවිධානාත්මක අපරාධ කල්ලි හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා.

ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා.දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා.මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා.

මේවාට සම්බන්ධ කල්ලි රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත් කරගනිමින් සිටිනවා.මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට ලෝක දේශපාලනයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහ පැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත්ව තිබෙනවා.

මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප  සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල් වලට සංක්‍රමණය වීමේ ඉඩ ප්‍රස්ථා අහුරුවාලීම, මේවට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථාන බිහිකිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරනවා.

 

ගරු සභාපතිතුමියනි,ගෞරවනීය අමුත්තනි,

දූෂණය, සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතුවෙන ද්‍රෝහී වසංගතයක් විදිහට අපි විශ්වාස කරනවා. දූෂණය, සංවර්ධනයට බාධාවක්, ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහ පැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කම හේතුවක් බව අපේ සථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි යන්න මම ඔබට ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ඨාචාරයේ විවිධ ජයග්‍රහණ එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපවීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිපල.

දූෂණයට එරෙහි සටනත් අසීරු පියවරක්.එහෙත් අපි ඒ පියවර තැබිය යුතුයි.

“අප තබන පළමු පියවර අසීරු විය හැකියි. නමුත්, අප නිර්භීතව තබන පියවර නිවැරදිනම්, ඒ පියවර පිටුපස තව පියවර දහස් ගණනක් අප සමග එයි” කියා මා විශ්වාස කරනවා.

 

ගරු සභාපතිතුමියනි, නියෝජිතවරුනි,

“නිර්භීත වන්න. ඉතිරි සියල්ල ඉබේම වෙයි” කියා ජවහල්ලාල් නේරූතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහණයක් ජීවත් වන පුංචි, දීප්තිමත් දූපතක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.30ක් පමණ වෙනවා.අපේ රට වගේම රටේ සිටින ජනසංඛ්‍යාවත් ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. නමුත් අපේ රටේත්,ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භකොට තිබෙනවා.

දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මං යෝජනා කරනවා.

 

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,

ඔබ කුමන රාජ්‍ය නියෝජනය කළත්, මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතැන, කෙසේ යුද්ධයක් හෝ ගැටුමක් ඇතිවුණත් ඒ හරහා සිදුවන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක තුනකට වැඩි කලක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ  රටක් ලෙස ඒහි විනාශකාරී බව ගැන අප ඉතා හොඳින් දන්නවා.

යුද්ධය නිසා මියගිය දහස් ගානක් සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපියන්, දූදරුවන්, බිරින්දෑවරුන් දෑත් එක්කර නගන වේදනාබර ආයාචනය දකින ඔනෑම කෙනෙක් යුද්ධයක සිහිනයක් දැකීමට පවා  අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අප ඇස් දෙකෙන් දැක තිබෙනවා.

ගැටුම් නිසා මිනිසුන්ට විඳින්නට සිදු වී ඇති දුක් පෙර නොවූවිරූ මට්ටම් කරා ළඟා වී තිබුණත්, බොහෝවිට ජාත්‍යන්තර ප්‍රජාව, මිලියන ගණනකගේ දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්ව සිටිනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත, එහාට මෙහාට පහර වදිමින් යන පා පන්දුවක් බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලනයේ ඛේදවාචකයක් වී තිබෙනවා. තමන්ගේ  බලය වැඩිකර ගැනීමට තවත් කිසිවෙකුගේ ජීවිතවලට බලපෑම් කිරීම සහ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. පාලකයින් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවේ.

ඝාසා තීරයේ අඛණ්ඩව සිදුවන  බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම, ඝාසා තීරය වේදනාබර ඛේදනිය එලිමහන් සිරකඳවුරක් වී තිබෙනවා. අහිසංක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව්පිලිරැව් දෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශවයන්ගේ එකගතාවය මත දෙපාර්ශවය කඩිනම් සටන් විරාමයකට යොමු වීමත්, බාදාවකින් තොරව සියලු මානූෂිය ආධාර යොමු කිරීමට ඉඩප්‍රස්ථා සැලසීමත්, සියලු පාර්ශවයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අප හඩ නගනවා. මේ බිහිසුුණු ඝාතන අවසන් කිරීම උදෙසා අප දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.

පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අප පිළිගන්නවා.ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව  ගැටලු හඳුනාගත යුතු වෙනවා.

1967 දේශසීමා මත පදනම්ව රාජ්‍යයන් දෙකක් එකිනෙකට යාබදව පැවතීමට පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව, සාධාරණ සහ ස්ථිර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිර්රථක යුද්ධයන් හේතුවෙන මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළයුතු තීරණාත්මක මොහොත එළැඹ තිබෙනවා.

මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කරන යුදගැටුම්වලට, උමතු ආගමික අන්තවාදය සහ ජාතිවාදය බරපතල ලෙස හේතුවී තිබෙනවා. වහල්භාවය අහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත්, වර්ගවාදයේ විෂ තවමත් තැන තැන තිබෙන බව නැවත සිහිපත්කළ යුතු වෙනවා. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුල පවා මේ ජාතිවාදී, වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අළු යට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි.එහි බිහිසුණුම තත්ත්වය වන්නේ ඉතාම තීරණාත්මක ලෙස, විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ඒ ගිනි පුපුරු විටින් විට මහා ගිනි ජාලාවන් බවට පත් වීමයි.

ජාතිවාදය, ආගමික අන්තවාදය එරෙහි වීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම, මානව නිදහස සහතික කිරීම වෙනුවෙන් අපගේ හෘදසාක්ෂිය අවදි කළ යුතුව තිබෙනවා කියා මා විශ්වාස කරනවා.

සාමය වෙනුවෙන් කතා කිරීමට අප නිර්භීත විය යුතුයි. යුද්ධය වෙනුවෙන් කතා කිරීමට අප බිය විය යුතුයි. රටක අභිමානය සහ පෞරුෂත්වය පිළිඹිමු කරන්නේ ඒ රට සාමය වෙනුවෙන් කැපවෙන තරමට යි.

ආයුධ මගින් ප්‍රශ්න විසදාගන්නවා වෙනුවට මානව ශිෂ්ඨත්වයේ වටිනාකම්වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා.

මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මිය යන ලෝකයක අප බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණනක්  ජනතාව මරණයේ මාවත තෝරා ගන්නාවිට, නිරර්ථක යුද්ධ වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුම් හෙලන විට, භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා.

ඇත්ත වශයෙන්ම, මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම ‘සාම ජනාවාස’ බවට පත්කළ හැකිනම්, ඒ ලෝකය ආශ්චර්යමත් ලෝකයක් බවට පත්වෙන බව ඒකාන්තවම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක්වූ අප සියලු දෙනා  ලෝක සාම ජනාවාස බිහිකරන, උදාර ‘සාම වන්දනාකරුවන්’ බවට පත් වෙමු කියා අපි යෝජනා කරනවා.

දශක ගණනාවක් තිස්සේ යුද්ධයේ අමිහිරි වේදනාව වගේම, අදටත් යුද්ධය නිසා අහිමිවූවන් සමරමින් සුසුම් හෙලන රටක් ලෙස ඒ හෟදයාංගම යෝජනාව කිරීමේ වගකීමක් අපිට ඇති කියා විශ්වාස කරනවා. අපි අපේ රටතුල යලි කෙදිනක හෝ අවිගැටෙන යුද්ධයක බියකරු බව සිහිනයකින් වත් ප්‍රාර්ථනා නොකරන බව සිහිපත් කරනවා. යුද්ධයෙන් තොර, සාමකාමී සෞන්දර්යාත්මක රටක ආශ්වාදය දකින්න අපි ලෝකයට ආරාධනා කරනවා. නව දේශපාලන සංස්කෘතියක් මත පදනම් වූ එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීම සඳහා මීට වසරකට පෙර, අපේ රටේ ජනතාව ගත් උදාර අපේක්ෂාව අපි යථාර්තයක් කරමින් සිටිනවා.

 

ගෞරවනීය ආරාධිත අමුත්තනි,

පසුගිය ඓතිහාසික  මැතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව ඔබට සිහිපත් කරනවා. එයින් බිහිවූ ව්‍යවස්ථාදායකය විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක අතකින් රටේ සමස්ථ ජනතාව ආණ්ඩුව පිළිබඳව දැවැන්ත විශ්වාසයක් තැබුවා. තවත් අතකින් දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද  ඇතුළුව කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජනයේ ඓතිහාසික ඉහළ යාමක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කෙරෙන මෙම විවිධත්වය මඟින් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජන වාර්ගික විවිධත්වය සහතික කෙරෙනවා වාගේම, සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්වනු ලැබුවා. ඒ වගේම, මහජන නියෝජිතයින් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස, අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බවට අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා.

ජනතා නියෝජිතයින්ගේ වගකීම විය යුත්තේ රට සහ ජනතාව සංවර්ධනය කිරීම මිස, පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම වන බව

අප විශ්වාස කරනවා.ජනතාව මහජන නියෝජිතයින්ට ලබා දෙන්නේ තනතුරක් නොව වගකීමක් වන අතර එය විශේෂ වරප්‍රසාදයක් නොවන බව අප ප්‍රායෝගිකව  ක්‍රියාවෙන්ම ඔප්පු කොට තිබෙනවා.

2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී  දර්ශකය තුල අපේ රට ස්ථාන 15කින් ඉදිරියට පැමිණ තිබීම මේ කෙටි කාලය තුළ ලැබූ සැලකිය යුතු ජයග්‍රහණයක් වෙනවා.එහි ප්‍රමුඛ ස්ථානයකට පැමිණීමේ සිහිනය වෙත අපි පියනගන්නට කැපවීමෙන් උත්සාහ කරනවා.

 

සභාපතිතුමියනි, සම්භාවනීය අමුත්තනි,

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව  පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාදය ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දුෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යපනය සහ සෞඛ්‍ය කෙරෙහිත් අපි දැඩි අවධානය යොමුකර තියෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජයගනිමින් සිටිනවා.  

සභාපතිතුමියනි, සම්භාවනීය නියෝජිතවරුනි,

වර්තමානයේ, ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපගේ නව ඉලක්කය යි. ලෝකය  ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවන්ට ප්‍රවේශ විය හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත්, තාක්ෂණයට ප්‍රවේශ වීමට ඉඩ ප්‍රස්ථා විවරවීම,  සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැලැක්විය නොහැකි වෙනවා. නමුත්, එසේ කිරීමට අප අසමත් වුවහොත්, තාක්ෂණය යනු අසමානතාව, අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇති වීමට තුඩු දෙන තවත් බලවේගයක් වනු ඇති බව අප විශ්වාස කරනවා.

ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ විය හැකි සහ නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිවම පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් ඔබ්බට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු  දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවලට සංවර්ධන මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමට යටිතල පහසුකම් අවම වීම ඇතුලු සාධක රැසක් බලපා තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණ අසමානතා ඉවත් කිරීමට මම ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කරනවා. මේ සඳහා මූල්‍යකරණය ඇතුළු සාමූහික ක්‍රියා මාර්ග සහ හවුල්කාරිත්ව  අවශ්‍ය වෙනවා.

හරිත කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථානයක්, විශේෂ ආර්ථික කලාපයක් සහ හවුල්කාරී රාජ්‍යයන් සඳහා “දත්ත  පද්ධති” පහසුකම් කේන්ද්‍ර කර ගත් “මධ්‍යස්ථ, ස්වෛරී කෘත්‍රිම බුද්ධි කලාපයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ යෝජනාව මා මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරනවා.

සියලුම සම්භාවනීය නියෝජිතයිනි,

පසුගිය දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව ගෝලීය සංසදවලදී, නිරායුධකරණ ප්‍රයත්න කෙරෙහි දැක්වූ  ක්‍රියාකාරී සහභාගීත්වය ඔස්සේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව උදෙසා වූ කැපවීම පෙන්නුම් කර තිබෙනවා. තිරසර සාමය සහ සාමූහික ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේදී බහුපාර්ශ්වික ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික වටිනාකම් ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සාම සාධක කටයුතුවලදී  වැඩි වගකීම් කොටසක් භාර ගැනීමටත් අප සූදානමින් සිටිනවා.

මෙම සංසදය ඇතුළු බහුපාර්ශ්වික සංසදවලදී ගෝලීය ප්‍රජාවක් ලෙස අප එකඟ වී ඇති සංවර්ධනය සහ මානව හිමිකම් සම්බන්ධ බැඳියාවන් සාක්ෂාත් කර ගැනීමේදී ඉදිරියට ගමන් කිරීමට නම් සාමය සහ යුක්තිය සඳහා නව කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා.

 

ගෞරවනීය සභාපතිතුමියනි, ආරාධිතයිනි,

අපි නව ලෝකයක් - බොහෝ යහපත් ලෝකයක් - මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනගා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයින් වන ඔබ  වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ”යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී ටෘමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා.

අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව, බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි බව මෙන්ම, එය වඩාත් සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයකට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට, හදවතට එකඟව ඇප කැපවූ පරපුරක් ලෙස අපි මේ සමුලුවේදී අධිෂ්ඨාන කරගනිමු.

අවසාන වශයෙන්, මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ  සිහින තිබෙනවා. මගේ රටේ ජනතාවට සතුටින් පිරුණ පොහොසත් ජීවිතයක් උරුමකර දීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනිම ජීවිත උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා.

නිරෝගී ධරණිතලයක  සාමය, ගෞරවය සහ සමානාත්මතාවය වෙනුවෙන් කැපවෙමු! යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ඒ ලෝකය සැබෑවට “පිලිසකර කරන්නන්” වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

ස්තුතියි.